Saturday, September 27, 2014

සොරි මහත්තයා. මම හිතුවෙ විකුණන්න කැමති වෙයි කියලා

- මහත්තයා.
+ ඇයි?
- වාහනේ විකුණලා වෙන එකක් ගමුද?
+ ඈ?
- මහත්තයා මේ වාහනේ විකුණලා වෙන එකක් ගන්න කැමති නැද්ද?
+ අපෝ නෑ. 
- මේකයි මහත්තයා. මේ වාහනේ ඉන්දියන් එකක්නෙ. ජපන් වාහන මීට වඩා සැප පහසුයි.
+ මම මේක විකුණන්න කැමති නෑ.
- ළඟදි පැට්‍රල් වාහන මාකට් බහිනවා මහත්තයා.
+ ඉතින්? 
- ඊට කලින් විකුන්නොත් මීට වඩා හොඳ එකක් ගන්න පුලුවනි අඩුවට. 
+ අපි ඔය හරකා විකුනලා ගොඩක් කල්. 
- මම කියන්නෙ ඇත්ත මහත්තයා. දැන් කාර් වල මාකට් බහිනවා ඉක්මනටම. ඊට කලින් දී ගත්තොත් හරි.
+ හරි ඉතින් මාකට් බැහැපුදෙන්. මම මේක විකුණන් නෑ කීවනෙ. 
- එහෙම නෙවෙයි මහත්තයා. මේ වාහනේ තවම අලුත් වගේනෙ. හොඳ ගානක් ගන්න පුලුවනි. කොච්චර විතර දුවලා තියෙනවද?
+ මේ. වද නොදී යනඅතක යනවද? 
- සොරි මහත්තයා. මම හිතුවෙ විකුණන්න කැමති වෙයි කියලා. 
+ මම කැමති නෑ. ගිහින් වෙන වාහනයක් විකුණගන්නවා. 

ජලාශෙ නඩත්තුව මතක් වෙන්නෙත් වැස්ස පටන්ගත්තම

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තකට පොල්ගොල්ල ජලාශය වාන් දමන බවට නිවේදන නිකුත් කරලා. දැන් දවස් කීපෙක ඉඳලා වැස්ස වහිනවා. මීට මාස කීපෙකට කලින් වියළි කාලගුණයක් තියෙද්දි, ජලාශ වල ජලමට්ටම අඩු කාලෙදි ඒ ජලාශවල නඩත්තු කටයුතු මතක් වෙලා නෑ. සති කීපයක් වහිද්දි තමයි නින්දෙන් නැගිට්ටා වගේ එකපාරම නඩත්තු කටයුතු මතක් වෙන්නෙ.  ඉතින් වාන් දමලා නඩත්තු කරනවා. 

මේක පොල්ගොල්ල ජලාශෙටවත් මේ අවුරුද්දටවත් සීමාවුනු දෙයක් නෙවි. වැස්ස පටන්ගත්තු දවස්වල එක් ප්‍රවෘත්ති විකාශනයක කියැවුනා වර්ෂාකාලය පටන්ගත්තු නිසා අපි වැව් හා ජලාශ ගැඹුරු කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා. ඉතින් මේ ගැඹුරු කිරිල්ල වැස්ස කාලෙ පටන්ගන්න කලින් කළානම් වැස්ස පටන්ගත්තු දවසෙ ඉඳන්නම ජලාශ පුරවන්න තිබුනා. පහුගිය දවස්වල ජලාශ වල පතුල පෙනෙන්නම තිබුන නිසා පහසුවෙන් ගැඹුරු කරන්න තිබුනා වාන් දමන් නැතිවම.

ජලාශ වල පරිමාව වැඩි කරන්න ගොඩක් හොඳට සැලසුම් කරලා කරන දෙයක් වෙන්ටැ මේ. මොකද අපි වාර ගණනාවක් මේ වගේ සිද්ධි අහලා දැකලා තියෙනවා.

Saturday, September 6, 2014

අර අංකල් උඩ බට්න් එක එබුව නිසා තමයි මේක නැවතුනේ.

තාත්තෙ මේ... කොළ පාට බල්බ් රතුපාට වෙනවා..

එහෙම තමයි පුතේ මේ දොරවල් කරන්ට් එකෙන් වැඩ කරන එවානේ

දරුවා විනාඩි 5ක් පමණ දොරේ බොත්තම ඔබමින් දොර ඉබේ ඇරෙන වැහෙන ආකාරය බලමින් විනෝද විය. එක්වරම එතැනට ආසන්න අසුනක සිටි අයෙක් පැමිණ දොර වැසීම වළක්වන බොත්තම ඔබා ගියේය. 

තාත්තේ අර බට්න් එක ඔබන්නකො.

ඇයි පුතේ ? 

ලයිට් පත්තු වෙන්  නෑ.

ඔතන බට්න් එක ඔබලා බලන්නකො

ඒක එබුවට වැඩක් නෑ. අර අංකල් උඩ බට්න් එක එබුව නිසා තමයි මේක නැවතුනේ.

තාත්තා දොර නවතන ස්විචය ක්‍රියා විරහිත කරන ලද අතර දරුවා නැවතත් සෙල්ලම පටන් ගත්තේය.

කලින් දොර ක්‍රයාවිරහිත කළ පුද්ගලයා මෙය දුටු අතර නැවත පැමිණ දොර ක්‍රියා විරහිත කරන ලදි

මේ දුටු දරුවා "තාත්තෙ බලන්නකො" 

පොඩ්ඩක් ඉන්න පුතේ.

දොර ක්‍රයාවිරහිත කළ පුද්ගලයාට මෙය ඇසුණි

මහත්තයා. පොඩි දරුවට කියලා දෙන්න මේවා තියෙන්නෙ සෙල්ලම් කරන්න නෙවි කියලා.

ඇයි පොඩිඑකෙක් සෙල්ලම් කළාම මොකද වෙන්නෙ? 

මහත්තයා. මේවා තව ගොඩක් කල් පාවිච්චි කරන්න තියෙන දේවල්. අද හෙට කඩලා දාන්න තියෙන ඒවා නෙවෙයි.

තමන්ගෙ වැඩක් බලාගෙන යනවද යන්න.

මම මගේ වැඩක් බලාගන්නම්. ඒ වුනාට පොදු දේපල විනාශ වෙනවා බලන් ඉන්න මට බෑ.

තමුසෙ හිතන් ඉන්නෙ මේවා ගොඩක් කල් තියේවි කියලද? ඕනනම් මාස 6ක් තියේවි මේ දොරේ ස්විච්. ඊළඟ මාස 6 වෙද්දි මේ දොරවල් සේරම ඇරලා ඒසී ගලවලා දුවයි සීටීබී බස්වල වගේ.

එහෙම වෙන්නෙ ඒවා පරිස්සම් නොකර මේ විදියට විනාශ කරන අය නිසා තමයි. පොඩි දරුවන්ට වුනත් කියලා දෙන්න මේවා පරිස්සම් කරන්න.

මේ අතර දරුවා අඬන්න විය.

බලනවා තමුසෙ දරුවා බය කරා. 

දරුවා බය වුනාද නැද්ද දන් නෑ මහත්තයා. ඒ වුනාට මහත්තයා මේ ට්‍රේන් එකට නැංගෙ සීට් එකක වාඩි වෙලා යන්න ටිකට් අරන් නේද? දොරේ යන්න ඕන නම් වෙන එකක යන්න තිබුනානෙ මේකෙ නෑවිත්. බලන්න ඔයා ඔතන දොර ඇරගෙන යනවා. දරුවා අනික් දොරෙන් සෙල්ලම් කරනවා. මිනිස්සු ඒසී වලටත් සල්ලි ගෙවාගෙන දාඩිය දාගෙන යන්න ඕන. 

මේ අතර දුම්රිය නඩත්තු අංශයේ අයෙකු පැමිණියේය. සිද්ධිය පිළිබඳව පරික්ෂා කළ ඔහු පාපුවරුව අසළ දොර අගුලු දමා එතැන සිටි අයට තමන් වෙන්කළ ආසන වෙත යන ලෙස උපදෙස් දී එතැන තිබුණු අකුළන ආසනයක වාඩි විය. 

පොදු දේපල ආරක්ෂා කරන්න මිනිස් ආකල්ප වෙනසක් අත්‍යාවශ්‍ය වන අතර එසේ නොවුනොත් පොදුදේපල රැකීමට සේවකයන් රැසක් යෙදිය යුතු වනු ඇත.

පෙති නැතිව කැරකෙන විදුලි පංකා ආවරණ දැක ඇතැයි  සිතමි. 
පින්තූරෙ ගත්තෙ https://c1.staticflickr.com/5/4103/5047734124_64849ab097.jpg




ඒ මහත්තයා මේ ගොඩේ තියෙන ඒවා විතරයි. මේ ගොඩ 400යි. අරක 500යි.

ආ එන්න මහත්තයා. හැමදාම නෑ හැමතැනම නෑ. එන්න නෝනා. ඕන එකක් 300යි.
බලන්න මහත්තයා ඕන එකක් 300යි. තෝරලා ගන්න. හෙට නෑ අද විතරයි.

මල්ලි මේ ෂර්ට් එකේ ක්‍රීම් පාට එක නැද්ද? 

සොරි මහත්තයා ක්‍රීම් පාට නම් නෑ. කහපාට එකක් තියෙනවා දෙන්නද?

මම හෙව්වෙ ක්‍රීම් පාට එකක්. 

ඉතින් මහත්තයා කහපාට මොකක්ද ක්‍රීම් පාට මොකක්ද? දෙකම පොඩ්ඩනේ වෙනස් වෙන්නෙ.

ඒත් මට ඕන පාට නැත්නම් වැඩක් නෑනෙ.

බලන්න මහත්තයා. වෙන ලස්සන පාට තියෙනවා. රතු පාට, කොළ පාට, නිල් පාට.. එන්න නෝනා. ඕන එකක් 300යි. හෙට නෑ අද විතරයි.

හරි බලමුකො තෝරලා. මේකෙ වෙන සයිස් නැද්ද? 

තියෙනවා මහත්තයා. ඒත් මහත්තයාට හරියන්නෙ මේ සයිස් තමයි. ලස්සනට තියේවි. ෆිටෝන් කරලා බලන්න. 

මේක පොඩ්ඩක් හිරයි වගේනෙ. මීට ටිකක් ලොකු එකක් තියෙයිද?

හ්ම්ම්. සයිස් නම් තියෙනවා මහත්තයා. එත්  එක්ස්.එල් සයිස් එක 400ක් වෙනවා. පොඩ්ඩක් ඉන්න. ආ...මේ තියනේනෙ.

එතකොට ඕන එකක් 300යි කීවෙ. 

ඒ මහත්තයා මේ ගොඩේ තියෙන ඒවා විතරයි. මේ ගොඩ 400යි. අරක 500යි.

එහෙනම් එපා.

ඇයි මහත්තයා මේක මහත්තයාට හොඳට මැච් වෙනවනෙ.

ඒ වුනාට එපා. මං යන්නම්.

මොනවද මහත්තයා කරන්නෙ. ගන් නැත්තන් පාඩුවෙ යන්න තිබුණනෙ අපේ බිස්නස් පාඩු නොකර. බලන්න කෑලි 5ක් විකුණගන්න තිබුණු වෙලාව අපරාදෙ. සේරම ඇදලා දාලා එපා කියලා යනවා.