Thursday, September 22, 2022

පොඩි ඈයොන්ගෙ ලෝකෙ.

 රස්සාව කරන්නෙ ගෙදරින් ටිකක් ඈත නිසා ගෙදර යන්නෙ සති අන්තෙට විතරයි. සඳුදා උදේම කෝච්චියෙන් කොළඹ ගිහින්  සිකුරාදා හවස කෝච්චියෙන් ගෙදර යන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලායි තියෙන්නෙ. කෝච්චියෙන් බැහැලා තාත්තාගෙත් එක්ක ගෙදරට ලංවෙද්දි පොඩිඋන් දෙන්නා උඩ පැන පැන නටන විදිය දකිද්දි දැනෙන හැඟීම කියාගන්න වචන නෑ. පස්සෙ පස්සෙ පොඩිඋන් දෙන්නා ස්ටේෂන්එකට එන්න පටන් ගත්තා තාත්තා එක්ක. 

පහුගිය සති අන්තය මට ගෙදර යන්න බැරි වුනා රාජකාරි ස්ථානෙ පුහුණුවකට සහභාගි වෙන්න සිදුවුනු නිසා. ඉතින් බදාදා විතර කෝල් එකක් අරන් පොඩි අයට කීවා මේ සිකුරාදා එන්න වෙන්නෙ නෑ කියලා. ඒ වුනාට එයාලාට ඒක තේරුණේ නැති බව මට හිතුනා.

මේ සතියෙ දවසක දරුවන්ට කෝල් එකක් ගත්තම පුතා ඇහුවා "තාත්ති කොහෙද තාත්ති ඉන්නෙ?" කියලා. මම කීවා "බෝඩිමේනෙ ඉන්නෙ" කියලා. ඒගමන පුතා කියනවා " අපි එන්නම් ඔයා බලන්න" කියලා. දුව කියනවා "තාත්තිව එක්කන් එන්න අපි එන්නම්" කියලා.

ආයෙ දවසක් වීඩියෝ කෝල් එකක් ගත්තම ආන්සර් කරලා ෆෝන් එක උස්සන් හිනාවෙවී ගේ ඇතුලෙ එහාට මෙහාට දුවනවා.

අද උදේ වයිෆ් කියනවා "දුව මේ දවස් ටිකේම අවුලෙන් හිටියෙ" කියලා.

Saturday, April 30, 2022

අර්බුද මැවීම

ණයක් අරන් ත්‍රීමලේ ටැංකි ටික හදන්න තිබුනා. එහෙනම් මේ වෙද්දි කලාපෙ ලොකුම තෙල් ගබඩාව.

ණය අරන් රට ඇතුලෙ කර්මාන්තශාලා ටිකක් හදන්න තිබුනා. ජංගි මැහුවත් රටට ආදායම් ගේන්න තිබුනා


තවත් දෙයක්, බැඳුම්කර වංචාවට මොනවා වුනත් පාස්කු ප්‍රහාරය නොවුනානම් මෙයැයිලට ආණ්ඩු බලය ගන්නවා කියන එක හීනයක් වෙන්න තිබුනා. අන්තිමට බැඳුම්කර වලට වුන දේකුත් නෑ, පාස්කු ප්‍රහාරයට වුනු දේකුත් නෑ.


මේ පහුගිය අවුරුදු  10 ඇතුලෙ රටේ සංවර්ධනයට කරපු ව්‍යාපෘති.

පොකුණ - ලංකාවෙ පෙන්වන නාට්‍ය ගානට, ඉන්න වේදිකා ප්‍රේක්ෂකයන් ට ප්‍රමාණවත් හෝල් තිබුනා. විවෘත කරාට පස්සෙ  කී පාරක් ⁣නාට්‍ය පෙන්වලා තියෙනවාද ඒකේ.

මත්තල- කටුනායක රත්මලාන තියෙද්දි ලොකු අවශ්‍යතාවක් නැතිකොට ඇයි තව එකක්.

කුලුන - චැනල් ටික එකතැනට ගන්න ඕන වුනා. එහෙම කලේත් නෑ. කලත් පරණ කුලුණු ටික නැති වෙන් නෑ. දැනට තියෙන්නෙ කෝච්චියේ කොළඹ යන එකාට කොළඹ ලං වුනා කියලා අඳුර ගන්න උදව්වක් විතරයි

සම්මන්ත්‍රණ ශාලාව-සම්මන්ත්‍රණ කීයක් තිබුනාද

හයිවේ- පටන් ගන්න තිබුනෙ කොළඹ ට්‍රැෆික් අඩු වෙන විදියට කොළඹ ඇතු⁣ලෙ පාරවල් ටිකෙන්

වරාය-කීයක් වියදම් වුනත් චීනෙ ගත්තෙ ඩිස්කවුන්ට් ප්‍රයිස්.

පිට්ටනි- ජාත්‍යන්තර තරඟ තියන්න පලාතෙන් පලාතට පිට්ටනි මොකටද? බලන කෙනා කොහෙ තිබුනත් බලන්න යනවා. අනික හැමදාම තරඟ නෑ කියලා නඩත්තු නොකර ඉන්නද?

ජනගහනයට හරියන විදියට ආහාර නිපදවන්න ලෝකෙම පිලිගත් විදියට රසායනික කෘෂිකර්මය තියෙද්දි (රසායනික පොහොර කියන්නෙ ආසනික් දමන එක නෙවෙයි. කාබනික කෘෂිකර්මයෙදි තියෙන රසායන ශාක වලට අවශ්‍ය නිසි ප්‍රමාණ වලින් ලබා දෙන එක)  දවසින් දෙකින් කාබනික කරන්න ගියා. රටේ කෘෂිකාර්මික නිෂ්පාදන ගත්තු කිසිම රටක් කාබනික නිෂ්පාදන ඉල්ලුවෙත් නෑ. 100% නෙවෙයි 20% වත කාබනික කෘෂිකර්මය  කරන රටක් ඇත්තෙත් නෑ. ආහාර සුරක්ෂිත තාවය කැලේ. පිටරටින් ගේන ආහාර කාබනිකද කියලා කවුද දන්නෙ.අන්තිමේ නතර වුනේ රට ඇතුලෙ කෑම නැති වෙලා, කොමිස් ගත්තා කියලා චීන ගූ නැවකින් ප්‍රසිද්දියේ අහගෙන වන්දිත් ගෙවලා. වීරයෝ වගේ "වගා හානි වලට වන්දි දෙනවා" කීවට වන්දි දෙන්නෙ තීරණ ගත්තු, උපදෙස් දීපු අයගේ පුද්ගලික ධනයෙන් ද ? එතකොට තමන්ගෙ තීරණ ගැන වගවීමක් ඇත්තෙම නැතිද?

සල්ලි අච්චු ගැහුවම වැඩි වෙන්නෙ සල්ලි විතරයි. උද්ධමනය වැඩි වෙන් නෑ කීවා. දැන් සල්ලි වැඩි වෙලා වෙන්ටැ මේ තරම් බඩු ගණන් යන්නෙ. 

අමුද්‍රව්‍ය ගෙනත් මෙහෙ නිෂ්පාදන කරන අයගෙ අමුද්‍රව්‍ය වලට ටැක්ස් ගැහුවා. නිෂ්පාදන ගෙන්වන යාලුවන්ට සහන දුන්නා. 

ඩොලර් එක අසීමිතව පාලනය කරා අතේ තියෙන ඩොලර් වියදම් කරලා. අන්තිමේ බැංකුවලට සල්ලි එවපු අයත් , උණ්ඩියල් නොදැන හිටපු අයත් උණ්ඩියල් පාවිච්චි කරන්න ගත්තා උණ්ඩියල් රේට්එකයි බැංකු රේට් එකෙයි තිබුන gap එක වැඩ වුන නිසා (ඉස්සර උණ්ඩියල් ගෙවන ගානයි බැංකුව ගෙවන ගානයි අතර ලොකු වෙනසක් තිබුනෙ නෑ). රටට කොච්චර විදේශිකයො ආවත් එයාලා බැංකුවකින් සල්ලි මාරු නොකලොත් ඒ කියන්නෙ හොටෙල් වලට වියදම් කලා කියලා ඒ ඩොලර් බැංකු පද්දතියට එකතු වෙන්නෙ නෑ, එලියෙ වැඩි මිලක් ගෙවද්දි. රටගිහින් නැහිලා නැහිලා හම්බු කරපු සල්ලි අඩු රේට් එකකට බැංකුවට එවන්නෙ මොකද එලියෙ රුපියල් 40-50 වැඩිය දෙනකොට. නිෂ්පාදන අපනයනය කරපු අයගෙ ඩොලර් වැඩි කොටසක් බැංකු වලට ආවා ඉස්සර. ඒත් අමුද්‍රව්‍ය ප්‍රශ්නෙත් එක්ක අපනයන අඩු වෙලා ආදායම් අඩු වුනා. 

(මේවා වුනේ කොරෝනා නිසා කියලා හිතනවා නම් ඉතින් මෙච්චර වෙලා  මේක කියවන්න ගත කැරපු කාලය අපරාදෙ)

හැම දේකින්ම අන්තිමට වුනේ රුපියල් 250ට අඩුවෙන් තියාගන්න පුලුවන්කම තිබුනු ඩොලර් එක 350 පැනපු එකයි.



ආයෙත් කියන්නෙ, බැඳුම්කර වංචාවට මොනවා වුනත් පාස්කු ප්‍රහාරය නොවුනානම් මෙයැයිලට ආණ්ඩු බලය ගන්නවා කියන එක හීනයක් වෙන්න තිබුනා. අන්තිමට බැඳුම්කර වලට වුන දේකුත් නෑ, පාස්කු ප්‍රහාරයට වුනු දේකුත් නෑ.

.

Sunday, January 4, 2015

අගක් මුලක් නැති පත්තර ලිපි. මොස්කව් ඉදන් රුසියාවට.

අනේ මන්දා. ඉරිදා පත්තර වල ලිපි ලියන්නේ කියන කෙනා කියන විදියටමද නැතිනම් මනෝ ගහන් ඉන්න වෙලාවට ද කියලා. එක්කෝ කියන කෙනා කියන දේ හරියට තේරුම් අරන් කියන්න ඕන. නැතිනම් නොලියා ඉන්න ඕන. මම එක පත්තරයක් කියවන එක නැවැත්තුවේම මේ බොරු ලිපි වල සීමාවක් නැති නිසා. බලන් යද්දි හැම පත්තරේම තියෙන්නෙ පිස්සු විකාර.

"ගමනට දෙලක්‍ෂ විසිදහයි. දවස්‌ අටකින් අපිව ඉතාලියට ඇතුළු කරනවා කිව්වා. ඇත්තටම ඒ කාලේ දවස්‌ හත අටෙන් ඉතාලියට ඇතුළු කරනවා. දෙපාරක්‌ හිතුවේ නෑ... ඉඩම සීයට හතේ පොලියට උකස්‌ කරලා මදි පාඩුවට රත්තරං බඩු ටිකත් බැංකුවට තියලා දෙලක්‍ෂ පනස්‌ දහක්‌ හොයාගෙන සල්ලි බැන්දා. 1992 අගෝස්‌තු 27 වැනිදා බදාදා මගෙන් පාස්‌පොට්‌ එක ඉල්ලගෙන ගියා. බ්‍රහස්‌පතින්ද අපි සිංගප්පූරුවටත් ගියා. මමත් එක්‌ක අට දෙනෙක්‌ හිටියා. අපි අට දෙනා අතට ඩොලර් පන්දාහ ගානේ දුන්නා. " දෙලක්ෂ විසි දාහක් අයකරලා අතට සිංගප්පූරු ඩොලර් 5000ක් දුන්නා කියනවා. ඒත් 1992 දි රුපියල්-ඩොලර් පරිවර්තන අනුපාතය ගොඩක් අඩු වෙන්න ඇති. යවන කෙනාටත් ලාබයක් තියෙන්න එපැයි. 

"මොස්‌කව්වල ඉඳලා රුසියාවට ගියේ කොච්චියෙන්. දවස්‌ දෙකක ගමනකින් පසු රුසියාවට ගියා."  මොස්කව් තියෙන්නෙ රුසියාවෙ නෙවි. රුසියාවෙ අගනුවර මොස්කව් නෙවි. එහෙම නැතිනම් රෝමයේ වතිකානුව වගේ රුසියාවෙ අගනුවර තියෙන්නෙත් රටින් පිට. අනේ මන්දා. වර්ගකිලෝමීටර 17,098,242 පැතිරුණු රටකට තමන්ගෙ අගනුවර රටින් වෙන තැනක පිහිටුවන්න උන එක. (යුද්දයක් නිසා මොස්කව් හුදෙකලා නගරයක් වෙලාද මන්දා.රුසියාව  බිද වැටෙද්දි මොකක් නමුත් සිද්දවෙලා තියෙනවා වගෙයි.)

"දැන් අපි යන්නේ මෝල්ඩෝව සහ රුමේනියම් බෝඩරේ අතරේ. " රුමේනියම් කියන්නේ රුමේනියාවද නැතිනම් රේඩියම් වගේ රසායනික මූලද්‍රව්‍යයක්ද? 

"ඔහොම ඉන්නකොට එතැනට කන්ටේනරයක්‌ ආවා. ඒ ලොරිය ඇතුළට අපිව දැම්මා. හුස්‌ම ගන්න පුංචි පුංචි හිල් තිබුණා. වටේට බැටළුවො ගෙනියන පෙට්‌ටිවලින් ආවරණය කරලා තිබුණා. ලොරිය පිටි පස්‌සෙනුත් තව බැටළුවො දාපු කන්ටේනර් පෙට්‌ටියක්‌ එල්ලුවා."  කන්ටේනර් එකක්ලු. ලොරියක්ලු. කන්ටේනර් පෙට්ටියකින් ආවරණය කලාලු. අනේ අපොයි. 

"ඒ වෙනකොට මට හොඳටම පැපොල්. " පළතුරක්. 

"ඇඟේ සේරම ඇඳුම් ගලවලා උපන් ඇඳුමෙන් තමයි ජෙල් එකට දාන්නේ." සෙල් එකක් ගැන කිය කියා ඉදලා එකපාරම ජෙල් එකක් ගැන කියවනවා. 

පත්තරේ ලිපියක් පල කරනකොට ඇත්ත නැත්ත බලලා පල කරන්න එපැයි.


____________________________________________________________________________________


බලන්න දිවයින ඉරිදා සංග්‍රහය 2015 ජනවාරි 04 - නිම්නය.


____________________________________________________________________________________
_____________________________________________________________________________________________

මුහුදු මාර්ගය ඔස්‌සේ ඉතාලියට ඇතුළුවීමට ගිය
මුල්ම බෝට්‌ටුකාරයා ගේ ආත්ම කථනය...1
 

මිනිස්‌ ජාවාරමේ තිත්ත කතාව

කාලයක සිට අපේ රටේ මිනිස්‌ ජාවාරම ජයටම සිදුවන බව සැබෑය. මහ මුහුද තරණය කර බෝට්‌ටුවලින් ඉතාලියට, ඕස්‌ටේ්‍රලියාවට මිනිස්‌සු පැටවීමත්, සම්මත ජාත්‍යන්තර නීති සියල්ල කඩ කරමින් ගුවන් මගින් අනාථයන් ලෙස ඉතාලියට, ජපානයට මිනිස්‌සු ඇතුළු කිරීම වැනි අශිෂ්ට අතීතයක්‌ අපට ඇත. රටේ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පාතාල ආධාරකරුවන්, මිනීමරුවන්, කුඩුකාරයින්, මේ මිනිස්‌ ජාවාරම්කරුවන්ගේ පිහිටෙන් ඉතාලියට, ජාපානයට පැන නිදහසේ ජීවත් වන බව ද නොරහසකි. එමෙන්ම විරැකියාවෙන් පෙළන දුප්පත් තරුණ තරුණියන් ජීවිත පරදුවට තබා මේ අවදානම් ගමන තෝරා ගන්නා බවද සැබෑය. එසේ මහ මුහුද තරණය කර බෝට්‌ටුවලින් ඉතාලියට, ඕස්‌ටේ්‍රලියාවට යන්න ගිය පුද්ගලයන් මෙරට නාවික හමුදා අත්අඩංගුවට පත් වූ අවස්‌ථා ද එමටය. වෙනත් රටවල ආරක්‍ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිරගත වූ ලාංකිකයන් ගැන ද අපි අසා ඇත්තෙමු. හොරෙන් පිටරටවලට ඇතුළුවීමට ගොස්‌ අත්අඩංගුවට පත්ව අදටත් හිරගෙවල්වල තපින අය ද සිටිති. දැන් අප මේ මිනිස්‌ ජාවාරම ගැන අවධානය යොමු කළේ ඕස්‌ටේ්‍රලියාවට ඇතුළුවීමට ගොස්‌ අත්අඩංගුවට පත් සරණාගත බෝට්‌ටුවක්‌ ගැන කියන්නට නොවේ. මුහුදු මාර්ග ඔස්‌සේ මෙරටින් ඉතාලියට ඇතුළුවීමට ගිය පළමු බෝට්‌ටුව ගැන කියන්නටය. ඒ කතාව අපට කියන්නේ එම බෝට්‌ටුව පදවාගෙන ගිය රියෑදුරාමය. ඔහු සුජිත් සමන්තය. ඔහු අදට වසර විසි දෙකකට පෙර නීති විරෝධී ලෙස ගුවන් මගින් ඉතාලියට ඇතුළුවීමට ගොස්‌ රුමේනියා සිරකඳවුරේ සිරගත වූවකුද වන්නේය. දැන් ඔහු ඒ බිහිසුණු ගමන් වාර දෙක ගැනම අපට කියන්නේය. මෙතැන් සිට පෙළගැසෙන්නේ සුජිත්ගේ කතාවය.

මගේ තාත්තා කළෙත් ධීවර රස්‌සාව. අම්මා රැකියාවක්‌ කළේ නෑ. බොහෝම අමාරුවෙන් අපි ජීවත් වුණේ. මම පවුලේ වැඩිමලා. නංගියි. මල්ලිලා දෙන්නයි. අපි හතර දෙනාම ඉස්‌කෝලෙ යනකොට ගෙදර ප්‍රශ්න වහලටත් උඩින්. ඔය කාලේ වෙන්නප්පුවේ කොල්ලන්ගෙ එකම සිහිනය ඉතාලියට යැම. යන්තමට අවුරුදු දහඅට සම්පූර්ණ වෙච්ච ගමන් දඟලන්නේ ඉතාලියට බහින්න. ඒ කාලේ ඉතාලි ගියා කියන්නෙත් මුළු පවුලම ගොඩ. මගෙත් එකම සිහිනය වුණේ ඉතාලිට පනින්න. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්‌සේ මම තාත්තාත් එක්‌ක මුහුදට ගියා... ඔහොම ටික දවසක්‌ රස්‌සාව කරගෙන ඉන්නකොට ඉතාලි යවන උල්හිටියාවේ සබ් ඒජන්ට්‌ කෙනෙක්‌ හමු වුණා. ඔහු මාව කොළඹ ඒජන්ට්‌ කෙනෙකුට මුණගැස්‌සුවා.

ගමනට දෙලක්‍ෂ විසිදහයි. දවස්‌ අටකින් අපිව ඉතාලියට ඇතුළු කරනවා කිව්වා. ඇත්තටම ඒ කාලේ දවස්‌ හත අටෙන් ඉතාලියට ඇතුළු කරනවා. දෙපාරක්‌ හිතුවේ නෑ... ඉඩම සීයට හතේ පොලියට උකස්‌ කරලා මදි පාඩුවට රත්තරං බඩු ටිකත් බැංකුවට තියලා දෙලක්‍ෂ පනස්‌ දහක්‌ හොයාගෙන සල්ලි බැන්දා. 1992 අගෝස්‌තු 27 වැනිදා බදාදා මගෙන් පාස්‌පොට්‌ එක ඉල්ලගෙන ගියා. බ්‍රහස්‌පතින්ද අපි සිංගප්පූරුවටත් ගියා. මමත් එක්‌ක අට දෙනෙක්‌ හිටියා. අපි අට දෙනා අතට ඩොලර් පන්දාහ ගානේ දුන්නා. සිංගප්පූරුවේ දවස්‌ අටක්‌ හිටියා. එතැනින් මැලේසියාවට ගියා. එහේ පැය අටක්‌ ඉඳලා ආපහු මොස්‌කව්වලට ගියා. එතැනට වෙනකම් ආවේ ගුවන් යානාවලින්. එහේ හෝටලයක දවස්‌ හතරක්‌ හිටියා. එහේදී හොඳට ඇවිද්දා. විනෝද වුණා.

මොස්‌කව්වල ඉඳලා රුසියාවට ගියේ කොච්චියෙන්. දවස්‌ දෙකක ගමනකින් පසු රුසියාවට ගියා. ගමන බොහෝම විනෝදයි. විශාල එළවළු වතු, සත්ව උද්‍යාන, ලෝක යුද සමයේ සෙබළු ලක්‍ෂ පහක්‌ මැරුණ තැන්, න්‍යෂ්ටික බෝම්බ වැටුණු තැන් පසු කරගෙන කොච්චිය ඉදිරියට යනවා. කවුළුවෙන් ඇහැ ගන්න හිතෙන්නේම නෑ. ඒ තරමට ගමන සුන්දරයි. දවස්‌ දෙකකට පස්‌සේ රුසියාවට ඇතුළු වුණා.

රුසියාවේ අපිට නවතින්න වුණේ ලොකු ෆ්ලැට්‌ එකක. අපි එතැනට යනකොටත් ලංකාවේ කොල්ලෝ කෙල්ලො ගොඩක්‌ හිටියා. අපේ ඒජන්ට්‌ දවසකට එක්‌ අයකුට රූබල් සීයක්‌ දෙනවා. අපි දහ දෙනෙක්‌ එකතු වෙලා ඒ සල්ලි එකතු කර ගන්නවා. එක පාර අපිට දවස්‌ දහයක සල්ලි දෙනවා. ඩොලර් එකක්‌ මාරු වුණේ රූබල් හාරසියයකට. ඒ කාලේ රුසියාවේ වියදම අඩුයි. රූබල් සීයෙන් චීස්‌, බටර් කිලෝ ගණන්, මස්‌ මාළු ඇතුළුව කැමති විදිහට කලා ජීවත් වෙන්න ඒ සල්ලි ප්‍රමාණවත් වුණා. චිත්‍රපටියක්‌ බලන්න, විනෝද සවාරියක්‌ යන්නත් ඒ මුදල ඇති වුණා. ඉඳල හිටලා ගෙදරට කෝල් එකක්‌ අරගෙන දුක සැප දැනගන්නත් සල්ලි ඇති වුණා. ඒත් අපිට හිතන වෙලාවට කෝල් ගන්න බෑ. කොමිනිකේෂන් එකකින් කෝල් එක බුක්‌ කරලා දවස්‌ තුනක්‌ ඉන්න ඕනා. එතකොට අපේ ගම්වලත් ටෙලිෆෝන් තියෙන ගෙවල් අඩුයි. ඒ නිසා ගෙදරට කතා කරන්න වුණේ දෙපාරක්‌ වගෙ තමයි. දැන් ඉතාලියට කිට්‌ටුයි කියලා හිතලා කලා බීලා බොහෝම විනෝදයෙන් හිටියා.

මාස හතරක්‌ විතර රුසියාවේ හිටියා. ඒ කාලය තුළ අපි හිටපු ෆ්ලැට්‌ එකට තිහ හතළිය, පනහ ටීම් ඇවිත් ෆ්ලැට්‌ එක පිරෙන්න ලංකාවේ අය හිටියා. ඔන්න ඔහොම ඉන්නකොට එක දවසක්‌ අපේ ඒජන්ට්‌ ඇවිත් කිව්වා දහ හතර දෙනකුව ඉතාලියට ඇතුළු කරන්න පුළුවන් කියලා. එතකොට ඒ ෆ්ලැට්‌ එකේ හිටපු පරණම කණ්‌ඩායම අපියි. ඒ නිසා අපිව යවන්න ගත්තා. එතකොට ෆ්ලැට්‌ එකේ ගොඩ දෙනෙකුට චිකන් පොප් හැදිලා තිබුණා. මගේ ඇඟෙත් බිබිලි දෙක තුනක්‌ දලා, ඇඟ ඇතුළේ උණ ගතියකුත් තිබුණා. 'හාවා හඳ දකින්න වගේ ඉතාලියට යන්න චාන්ස්‌ එක ලැබෙන්නේ. මේක මඟහරව ගන්නේ මොකටද කියලා හිතලා' මම ලෙඩේ හංග ගෙන ගමනට සූදානම් වුණා. පස්‌සේ අපි දහහතර දෙනා මෝල්ඩෝවට අරගෙන යන්න කෝච්චියට දැම්මා. අපි හිටපු තැන ඉඳලා මෝල්ඩෝවට දවස්‌ තුනක්‌ විතර යන්න ඕනා. පැයට කිලෝ මීටර් සීයක විතර වේගයෙන් කොච්චිය ඉදිරියට ඇදෙනවා. ගම්මාන මැදින්, බඩඉරිඟු වතු, විශාල මහ කැලෑ මැදින් කොච්චිය යනවා. ගල් වෙන තරමට සීතලයි. ඒ වෙනකොට මට හොඳටම උණ. පැනඩොල් බිබී, සිද්ධාලේප නළලේ ගාගෙන යනවා. සමහර තැන්වල හිමෙන් වැහිලා. අපි කෝච්චියට නගිනකොටම බීම බෝතල තුන හතරක්‌ එක්‌ක බිස්‌කට්‌ පැකට්‌ දෙක තුනක්‌ බෑග්වලට දාගත්තා. ඒක තමයි එකම කෑම වේල වෙලා තිබුණේ.

එහෙම ගිහින් මොල්ඩෝවේ බෝඩරයට මෙහෙන් කොච්චියෙන් බැහැලා අපේ ඒජන්ට්‌ අපිව රුසියන්කාරයකුට භාර දුන්නා. මිනිහා කිව්වා 'පිටිපස්‌සෙන් වරෙල්ලා... හැබැයි ළඟට එන්න එපා... කතා කරන්න එපා...' කියලා. එහෙම කියලා මිනිහා වේගයෙන් යනවා. අපිත් මිනිහාව එළවගෙන පිටිපස්‌සෙන් යනවා. ගෙවල් අස්‌සෙන්... එළවළු වතුවලින් පැන පැන කිලෝ මීටර් හතක්‌ විතර ගියා. පසු කරපු හැම ගෙයක්‌ම පිදුරු, ඉලුක්‌ සෙවිලි කරපු කටු මැටි පුංචි ගෙවල්. අපි ගෙවල් පේලියක්‌ අස්‌සේ නතර වුණා. එතැනට ලොකු බස්‌ එකක්‌ ආවා. ඒ බස්‌ එකේ තවත් හැට තුනක් හිටියා. අපි දහ හතර දෙනක්‌ එක්‌ක සේරම හැත්තෑ හතක්‌ හිටියා. බස්‌ එක ඇතුළෙ ඉන්දියාවේ, පාකිස්‌තානයේ අයත් හිටියා. අපිව බස්‌ එකට දැම්මේ පාන්දර... රෑ දහය එකොළහ වෙනකම් බස්‌ එක එක දිගට ගියා. එතැනින් අපිව මාරු කළා ලොකු ටිපර් එකකට. ලොරි ඇතුළට දාලා ගස්‌වල පරඬැල් කොළ අතුවලින් ලොරිය වැහුවා. කැලෑව අස්‌සේ පාරවල් හදාගෙන කඳු මුදුන්, පල්ලම්වලින් ටිපර් එක යනවා... ඔන්න පෙරළෙයි... මෙන්න පෙරළෙයි කියලා හිතුණා. බස්‌ එක ඇතුළේ තවත් රුසියන්කාරයෝ හතර දෙනෙක්‌ හිටියා. උන් හරියට යක්‌කු වගෙයි. කැලෑව මැද ටිපර් එකෙන් අපිව බැස්‌සුවා. එතැන ඉඳල ගමන පයින්. වැඩි ශබ්දයට ඇවිදින්නත් බෑ. 'චරස්‌' ගලා කොළ පෑගුණත් කකුළට පොලු පාරක්‌ වදිනවා. අපේ පස්‌සෙන් දෙන්නෙක්‌ එනවා... ඉස්‌සරහින් තව දෙන්නෙක්‌ යනවා.

දැන් අපි යන්නේ මෝල්ඩෝව සහ රුමේනියම් බෝඩරේ අතරේ. එහෙම කිලෝ මීටර් පහ හයක්‌ පාන්දර වෙනකම් පයින් ගියා. එතැනින් ලොකු ගඟකින් එගොඩ වෙන්න ඕනා. පොඩි බෝට්‌ටුවක්‌ තිබුණේ. මුලින්ම හයක්‌ බෝට්‌ටුවට නැග්ගා. එක පාරටම බෝට්‌ටුව ගිsලුණා. මිනිස්‌සු ටික ගොඩට අරගෙන. රුසියන්කාරයො දෙන්නෙක්‌ කොහේටද ගිහින් තව බෝට්‌ටුවක්‌ අරගෙන ආවා. ඒ ගඟෙන් තමයි බෝඩරය වෙන් වෙන්නේ. පස්‌සේ ගෙනාපු බෝට්‌ටුවට හතර දෙනා ගානේ නග්ගලා කඹයක්‌ ආධාරයෙන් සේරම එගොඩ කළා. එතැනින් එහා ගෙනියන්න තවත් කණ්‌ඩායමක්‌ අපිව භාර ගත්තා. මට හිතුණ විදිහට උන් රුමේනියන්ම්කාරයෝ. එතැන ඉඳලා ඉමක්‌ නෑ... එක පැත්තකින් බඩඉරිඟු යායක්‌... අනිත් පැත්තෙන් මහ කැලෑවක්‌. බඩඉරිඟු යාය දිගේ පැය තුනක්‌ විතර එහාට ගිහින් නැවතිලා පැය හයක්‌ විතර එක තැන හිටියා.

ඔහොම ඉන්නකොට එතැනට කන්ටේනරයක්‌ ආවා. ඒ ලොරිය ඇතුළට අපිව දැම්මා. හුස්‌ම ගන්න පුංචි පුංචි හිල් තිබුණා. වටේට බැටළුවො ගෙනියන පෙට්‌ටිවලින් ආවරණය කරලා තිබුණා. ලොරිය පිටි පස්‌සෙනුත් තව බැටළුවො දාපු කන්ටේනර් පෙට්‌ටියක්‌ එල්ලුවා. එදා හවස්‌ වෙනකම්ම අපි කන්ටේනර් පෙට්‌ටියේ. ගැහැනු පිරිමි එක ගොඩේ. වාඩි ගන්නවත් ඉඩක්‌ නෑ. ලංකාවෙන් ගිය එක කාන්තාවකට දරුවෙක්‌ ලැබෙන්නත් හිටියා. සේරම ගෑනු පහළොවක්‌ හිටියා. සිංහල ගෑනු හයක්‌ හිටියා. අනිත් අය ටැමිල්. ගැහැනු පිරිමි එක ගොඩේ හිටියා කියලා කිසිම හැඟීමක්‌ නෑ. දවස්‌ ගානකින් හරියට කෑමක්‌ නෑ. නෑමක්‌ නෑ... හරියට සත්තු වගේ. හැම කෙනාගේම එකම හැඟීම ඉතාලියට ගොඩබහින්න විතරයි.

ඒ වෙනකොට මට හොඳටම පැපොල්. කන්ටේනර් පෙට්‌ටියට නැඟ ගන්න බැරි තරමට මට අමාරුයි. පස්‌සේ රුමේනියන්ම්කාරයෙක්‌ මාව උස්‌සලා කන්ටේනර් පෙට්‌ටිය ඇතුළට විසි කළා. ඒත් ලෙඩේ හංගගෙන හිටියා. ලෙඩේ කිව්වා නම් මාව කැලෑව මැද දලා යනවා. ඔය දවස්‌ කිහිපයටම කෑව බිව්වේ බෑග්වලට දාගත්ත බිස්‌කට්‌ සහ බීම බෝතල් විතරයි. හැමෝම පරිස්‌සමට ඒ දේවල් කෑවා බිව්වා. අනිත් එක කාටවත් බඩගින්නක්‌ දැනෙන්නේ නෑ. හැමෝගෙම ටාගට්‌ එක ඉතාලියට යන්න. කන්ටේනර් පෙට්‌ටිය ඇතුළෙ හුස්‌ම ගන්නත් අමාරුයි. යන්තමට සිදුරු තියෙන තැන්වල එල්ලිලා හුස්‌ම ගත්තා. එහෙම දවස්‌ දෙකක්‌ විතර එක දිගට ගිහින් රුමේනියන් බෝඩරය පසු කරලා බල්ගේරියා බෝඩරය කිට්‌ටු කරලා ගෙදරකට බැස්‌සුවා. තට්‌ටු දෙකේ ගෙයක්‌. අපි යට තට්‌ටුවට ගිහින් මහන්සියට ඇල වුණා විතරයි නින්ද ගියා. 'දඩස්‌' ගලා දොරට ගැහුවා. දොර ගැලවිලා වැටුණා. 'පකින් ටුවරිස්‌ ගෙටවුට්‌' ආරක්‍ෂක නිලධාරීන් කිහිප දෙනෙක්‌ ඇතුළට ආවා. සේරම එළියට අරගෙන පාර දිගට වාඩි කෙරෙව්වා. එදා උදේ අපිව ගෙදරින් එළියට ගත්තේ හවස්‌ වෙනකම් පාරේ වාඩි කරවගෙන තියා ගත්තා. රුමේනියාවේ පොලිසියෙන් තමයි අපිව අත්අඩංගුවට ගත්තේ. එතැනට එරට දේශපාලනඥයකුත් ආවා. ඇවිත් පොලිස්‌ නිලධාරීන් එක්‌ක මොනවදෝ කතා කරලා යන්න ගියා. පස්‌සේ අපි පිරිමි ගැහැනුq වෙන වෙනම බස්‌ එකක දාගෙන යුද හමුදා කඳවුරකට අරගෙන ගියා. අපිව දාපු හමුදා කඳවුර තට්‌ටු හතරයි. උඩම තට්‌ටුවට අපිව දැම්මා. එක අයකු නිදා ගන්නකොට දෙන්නෙක්‌ නැගිටලා ඉන්න ඕනා. ඒ තරමට පුංචි කාමරයකට අපි සේරම දැම්මා. අපි හිටපු කාමරය වටේට තුවක්‌කු එල්ල ගත්ත හමුදා භටයෝ. ඒ අයට කියන්නේ නැතුව ටොයිලට්‌ එකකට ගියත් 'ට්‍රාස්‌' ගලා තුවක්‌කුව ලෝඩ් කරනවා. කිසිම අනුකම්පාවක්‌ නෑ. තුන් වේලටම කන්න දුන්නේ පාන් බාගයකුයි ගෝවා තම්බපුවයි. මෙලෝ සතෙකුට කන්න බෑ. ගෝවා කොළ ගලවනකොට ඇතුළෙ පනුවෝ. ඔහොම මාස දෙකක්‌ විතර කෑම්ප් එකේ තියා ගත්තා. ඒ අතර කාලේ සිංහල කෙනෙක්‌ ඇවිත් සේරමගෙන් කටඋත්තර ගත්තා. පිටු හය හතේ කටඋත්aතර ලියා ගත්තා. සේරමගෙන් කටඋත්තර ගන්න මාසයක්‌ විතර ගියා. අන්තිමේ ආක්‍රමණිකයන් විදිහට අපිට නඩු දැම්මා.

නඩු අහලා අවුරුදු දහයකට රුමේනියා ජිලවා හිර කඳවුරට දැම්මා.

ඒ වෙනකොටත් ඉතාලියට යන්න ගිය හත් අට දෙනා රුමේනියා බෝඩරයේදී අත්අඩංගුවට අරගෙන ජිලවා සිරකඳවුරේ හිර කරලා තිබුණා. රුමේනියා හමුදා අත්අඩංගුවට පත් වුණු විශාලම කණ්‌ඩායම අපේ ටීම් එක. ඒ නිසා අපිට දුන්න දඬුවම දරුණු වුණා. අපව විසිහය ගානෙ කළුවර කාමර දෙකකට දැම්මා.

කාමරය පිරෙන්න තට්‌ටු ඇඳන්. ඇඳන්වල මෙට්‌ට ඇතුළට දලා තියෙන්නේ බඩඉරිගු පරඬැල්. පැත්තක ටොයිලට්‌ එක. කාමරය ඉදිරියෙන් ලොකු ජරා කාණුවක්‌ යනවා. මක්‌කොලවත් ඉන්න බෑ මිනී කුණු ගඳක්‌. මාස තුනක්‌ යනකම් ඉර දකින්න බැරි වුණා. පස්‌සේ ඇමරිකාවේ මානව හිමිකම් සම්බන්ධව ඉන්න නිලධාරිනියක්‌ ජිලවා හිරගෙදර සංචාරයක්‌ කෙරුවා. ඒ වෙලාවේ ඒ ගෑනු කෙනා අපිට කිව්වා 'බොල බය වෙන්න එපා අපි ඉක්‌මනට එළියට ගන්නවා කියලා' ඒ මාස තුනේදී දවසකට හතර වතාවක්‌ පෝලිම් කෙරුවා. ඒක කරන්නෙත් කාමරේ ඇතුළෙමයි. ඒ හැරෙන්න කනවා නිදා ගන්නවා. මාසෙකට එක දවසක්‌ නාන්න දුන්නා. ඒත් විනාඩි තුනක්‌වත් නාන්න දුන්නේ නෑ. ඇමරිකාවේ නිලධාරිනිය ඇවිත් ගියාට පස්‌සෙ හැම සතියකම සිකුරාදා නාන්න දුන්නා. ඒත් විනාඩි පහකින් නලා ඉවර කරන්න ඕනා. එහෙම ටික දවසක්‌ යනකොට දවසකට විනාඩි දහයකට පහළොවකට අපිව එළියට දැම්මා.

උදේ පාන්දර වතුර දෙනවා. ඒ වෙලාවට ගිහින් බෝතලයකට වතුර පුරව ගන්නවා. ඒ වතුර එක තමයි ටොයිලට්‌ යන්නත්... කෑම කලා බොන්න... හැම දේකටම. සීතලට වතුර ගල් වෙනවා. දවසකට පාන් බාගයක්‌ දෙනවා. පාන් කන්න ගෝවා තම්බලා දෙනවා. කෑම්ප් එකේ කෑම වේලම තමයි. මාසෙකට පාන් රාත්තල් පහළොවක්‌ එක පාර දෙනවා. බෑග්වල දලා තමයි පාන් ටික පරිස්‌සම් කරගන්න ඕනා. මාසේ අන්තිම වෙනකොට පාන් ඇතුලෙ මීයෝ පැටව් දානවා. පුස්‌ කෙඳි දිගට බේරෙනවා. ඒවා අයින් කරලා තමයි කන්න ඕනා. උදේට තේ එකක්‌ දෙනවා. ලූනු සිවි වගෙ මොනවද තම්බලා දෙන්නේ. අපි යන්න ඉස්‌සර ඉඳලා හිරේ හිටපු අපේ කෙනෙක්‌ ඒ තේ එක බොන්න එපා කියලා අපිට කිව්වා. ඒ කෙනා ලංකාවේ නම ගිය පවුලක දරුවෙක්‌. කුඩු ගෙනිහින් අත්අඩංගුවට අරගෙන ජීවිතාන්තය දක්‌වා හිරේට දලා තිබුණේ.

අපේ කාමරයේ නායකයා විදිහට දලා තිබුණෙත් එයාවයි.

අපිට අඳින්න දුන්නේ ගෝනිවලින් මහපු ඇඳුම්. ඇඳපු ගමන් කසනවා. අපිත් එක්‌ක හිටපු කිහිප දෙනෙක්‌ පිස්‌සුවෙන් වගේ කියවන්න පටන් ගත්තා. තව අය බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. ඒත් අපිත් එක්‌ක හිටියේ ලංකාවේ දරුණු වැඩ කරපු අය. හිටපු නම ගිය දේශපාලන නායකයකුගේ ගෙදරකට ගිනි තියපු දහ දෙනෙක්‌ හිටියා. ඒ සිද්ධියටම තමයි ඒ දහ දෙනා ලංකාවෙන් පැනලා තියෙන්නේ. මිරිස්‌සේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌ හිටියා. එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙකුත් හිටියා. පස්‌සේ උන් ප්‍රභාකරන්ගේ හොඳ කියන්න ගත්තා. එල්.ටී.ටී.ඊ. ලාංඡන බිත්තිවල අඳින්න ගත්තා. ඕකට අපේ උන්ට කෙන්ති ගිහින් උන්ට ගැහුවා. පස්‌සේ දෙමළ අයව වෙනම දැම්මා. එහෙම නැතුව රණ්‌ඩු කියන දේවල් හිර ගේ ඇතුලෙ සාමාන්‍යයි. ගහගෙන ඡේලර්ලට කොටු වුණොත් සෙල් එකට දානවා. අපේ සෙට්‌ එකේ කිහිප දෙනෙක්‌ම සෙල් එකට දැම්මා. දවසක්‌ පාන් බෙදනකොට මම උඩ ඉඳලා පාන් ගෙඩියක්‌ හොරෙන් ගත්තා. ඒක දැකලා මාවත් සෙල් එකට දැම්මා. සෙල් එකට දානවා කියන්නේ ඉවරම තමයි. පරණ පිනකට තමයි පණ පිටින් එළියට එන්නේ. ඇතුළට දැම්මට පස්‌සේ එළිය දැක්‌කේ සෙල් එකට දැම්මට පස්‌සේ. ඒත් එළිය විතරයි... ඉරක්‌ නෑ. හිමෙන් වැහිලා. ඒ සෙල් එකේ යකඩ කූරු දලා තියෙන්නේ එළියට විවෘතව. කාමරය අපේ ටොයිලට්‌ එකකටත් වඩා පොඩියි. මැද ටොයිලට්‌ කටක්‌. නිදාගන්න තියෙන්නේ හිට ගෙන. නැති නම් එක තැන උන්ඩි වෙලා. ඇඟේ සේරම ඇඳුම් ගලවලා උපන් ඇඳුමෙන් තමයි ජෙල් එකට දාන්නේ. දාපු ගමන් සීතලට ගල් වෙනවා. මම සෙල් එකේ දවස්‌ දෙකක්‌ හිටියා. මට සිහිකල්පනාව ආවේ සෙල් එකෙන් එළියට අරගෙන දවසකට පස්‌සෙයි.

අපේ සෙට්‌ එකෙන්ම මම තමයි වයස අඩුම කෙනා. මුලින්ම හිත අවුල් වුණා. පස්‌සේ අවුරුදු දහය ඇදලා අපිව ඉතාලියට යවයි කියලා හිතලා හිරේ ජීවිතයට හුරු වුණා. අපි දිහා දෙවියන් වහන්සේ බලලා තමයි මානව හිමිකම් සම්බන්ධ නිලධාරිනිය හිරගෙදරට එව්වේ. පස්‌සේ අපිට දඬුවම් ලිහිල් කරලා මාස හතකින් නැවත කඳවුරකට දැම්මා. එතැනින් තමයි අපිව ලංකාවට එව්වේ. අපිත් එක්‌ක එකසිය ගානක්‌ නිදහස්‌ කරලා එව්වා. ඉන්දියාවේ, පාකිස්‌ථාන අය එතැන හිටියා. ඒ ඉතාලි ගමනේදී පොඩ්ඩ පොඩ්ඩ භාෂා හත අටක්‌ ඉගෙන ගත්තා. හිරේ ලැගලා කට්‌ට කාල ලංකාවට ආව කියලා ඉතාලි සිහිනය හිතෙන් ඈත් වුණේ...

ගුවනෙන් යන්න බැරිවුණ ඉතාලියට ඔහු මුහුදෙන් යන්න උත්සාහ කරයි...

ඉතිරි කොටස ලබන සතියට...
තරංග රත්නවීර

----------------------------------------------------------------------------------------------